Thursday, July 4, 2013

කැම්පස් එක


කැම්පස් එක කැම්පස් එක මම ස්ටඩි කරන...
එතන තමා මා හට ඇති විනෝද උයන...
ගී ගයමින් නිතරම මා සතුටින් සිටින...
කැම්පස් එක තමයි මගේ විනෝද උයන...

Saturday, April 27, 2013

මිහිපිට පාරාදීසයක්?


පහතිං ඇත්තේ මගේ හිතට හදිසියේ කඩා වැදුනු සිතිවිලි රෑනකි. ඔවුන් තුලින් මා දුටු සොඳුරු ලෝකයක ඡායාව ඔබ තුලත් හොල්මං කරයිද? කියෝලම බලන්ටකෝ....

සියළු ප්‍රශ්න, ගැටළු නිරාකරණය වී සතුට, මිනිසත්කම ඉතිරී පිටාර යන ජන සමාජයක් උදෙසා මට හැඟෙන පරිදි ඇත්තේ එකම ක්‍රමයකි. එය 'හුවමාරු අර්ථ ක්‍රමයයි'.

මුදල් යනු මාරයා විසින් ක්‍රමිකව මුලුමහත් මනුශ්‍ය වර්ගයාගේම ජීවත් වීම, මරණය හා සමාන කිරීම සඳහා යොදාගත් අති සූක්ෂම ක්‍රමෝපායකි. කෘතීමව අනෙක් මිනිස්සුන්ට වඩා උසස් බවක් දැනීමට සැලැස්වීම, 'මිනිස්සුන් අවශ්‍ය නැතේ! අපිට සල්ලි ඇතේ' කියා සිත් තුල දෝංකාරයක් ඇති කිරීමට සමත් මේ සංකල්පය තුලින් ජීවත් වීමේ අරමුණ සල්ලියැයි සිතීමට පොලඹවා ඇවිදින මල කඳන් නිර්මාණය කරයි.

හුවමාරු අර්ථ ක්‍රමය.........

කම්මැලිකමේ ඉඳ බොරු ජිල්මාට් දමා ජීවත් වීමට මෙවැනි පද්ධතියක් තුල ඉඩ නැත. තමාගේ හැකියාව පරිදි, අවට ඇති දෑ ප්‍රයෝජනයට ගෙන තවත් කෙනෙකුට වැඩක් ඇති දෙයක් කල යුතුමය.  'ඉන්ජොයි, ඩොක්කුයි විතරයි පොරවල්' කියන්නෝ එවිට වඳ වී යති. සෑම මිනිසෙකුටම වටිනාකමක් ලැබේ. මෙවිට වන තව දෙයක්නම් අමුද්‍රව්‍ය රට පටවා, නිමි භාණ්ඩ වැඩි මිලට ගැනීමේ අමු බොරුවට ඉඩක් නොලැබීමයි.

පොඩි කාලේ සිට මුදල් නම් සංකල්පයෙන් සැදි අච්චුවක පදම් වූ අපගේ මනස් තුලින් මෙවන් සමාජයක් ප්‍රායෝගිකයැයි සිතීම අපහසු වූවත්, තමාගේ චින්තනය හා හැඟීම් තමාට විස්වාසනම් හොඳ යැයි පෙනෙනා දේ කරා පියවරක් තැබීම වැලැක්විය හැක්කේ කොන්දක් නොවූ කොන්දකට පමණි!

ලස්සන පාරවල්, උයන්, ගොඩනැගිලි ආදී සුකුරුත්තං පසු පස මෝඩ යකුන් සේ නොදුවා සතුට සොම්නස, සරල බව හා මිනිසත්බව තුල ගිලී නැහැවී සුවඳවත් වූ සමාජයක ජීවත්වීම මිහිපිට පාරාදීසයක් නොවනු ඇතිද?

Thursday, April 11, 2013

"උඹ.. ඔව් උඹ තමා... උඹ රූකඩයක්!"

 වේලාව සවස 5ට පමණැ. ඔබ මොබ ඇදෙන්නේ අඳුරු සෙවණැලි මැ. උං තුල ජීවයක සේයාවක් හෝ දකින්නේ මං ද උංගේ බෝට්ටුවේම නූනත් ඊට ආසන්න කාලකන්නිකමක් කරපින්නාගෙන වසන නිසායැයි මට හැඟේ.

"ඇයි?"... ප්‍රශ්නය සරලය. පිලිතුරු නැත. ඔබට කෙනෙක්ගේ කට වහන්න ඔනේ නං ඇසිය යුත්තේ ඔය මායාකාර අකුරු දෙක පමණි. එක තැනකිං එහාට ඔය "ඇයි?" යන්නට දිය හැකි පිලිතුරු නැවතේ. කිසි දිනෙක පිලිනොගන්නා, පිලිනොගන්නේ 'ඇයි' දැයි නොදන්නා ගඳ ගහන ඇත්ත සිතට දැනී නොදැනී යන්නේ එවැනි මොහොතකය.

හැමෝම හැමගේම රූකඩ වේ. මාමාගේ, බාප්පාගේ යාලුවාගේ, පාරෙ යන පලමු වතාවට දකින කෙල්ලෙකුගේ \ කොල්ලෙකුගේ අතේ පවා ඔබ හසුරන නූල් සෑහෙන ප්‍රමාණයක් තිබේ. 'ඔබ' යනු මායාවකි. 'ඔබ' කියා කෙනෙක් නැත. අතීතයේ සිටි, වර්තමානයේ සිටින හා අනාගතයේ සිටිනු ඇති දෙනෝදාහකගේ රූකඩයකට ඔබ 'මම' යැයි කියාගනී.

මේ ලියන මාද රූකඩයකි. මේ වචන මාගේමදැයි සිතා ගැනීමට බැරි තරං රූකඩයකි. විසංවාදයක් තමා. හැබැයි නූලකින් නොරැඳී මට ඕනෑ දෑ මේ බ්ලොගයේ වැටෙනවා වගේ තේරේ. හැබැයි එය දැනීමක්ම පමණක් බව දනිමි. නූල් අපමණ ගැටගැසුනු දෑතකි මේ. නමුත් වරද නිවැරදි කිරීමට පලමුවෙන් කල යුත්තේ වරද දැනගැනීමලුනේ! එසේ කිරීමට උත්සහගැනීම කියන්නෙත් හැබැයි ඒ වදන් පැවසූ අයගේ නූලක අධාරයෙන් සිදුවන ක්‍රියාවලියකි. මේ පැටලුනු නූල් බෝලය දිග හරිනු නොහැකිද?

මේ කියවා මොලේ කචල් වගේ නං මම එක දෙයක් විතරක් කියන්නං. කොච්චර මොනා කලත් උඹ පොරක් නෙමේ! ලක්ෂ ගානක් පඩි ගන්න උඹත් එකයි, පොල් ගෙඩියක් කඩලා ජිවත් වෙන මනුස්සයත් එකයි. අපි හැමෝම එකම බෝට්ටුවේ!

Monday, March 25, 2013

තරූ, හාවා සහ මෝඩයා


හඳ පෑව්වා..

"මොන %@#&^ බැහැලා පල පේන්නැද්ද යකෝ මම වැඩක්!"

හඳ බැස්සා..

"මගෙ තරූ... ඔයා ඕසම් මෙයා! ඕසම්ම ඕසම්..."

හඳ වලාකුලු අස්සෙං පොඩ්ඩක් හිමීට හොරේන් එබුනා..

"උඹෙ %@$#*#&!&#8 ඔය කෙහෙල්මල් එලියත් අරං මකබෑවියං!"

හඳ හැංගුනා..

"තරූ.."
.
.
.
.
.
"අනෙ මගෙ තරූ"
.
.
.
.
"ඔයා කෝ! මගෙ තරූ කොහෙද ගියේ!"

හඳ හාවාගේ පශ්චාත් භාගය මොහොතකට වලාකුළු අතරින් පෙනී නොපෙනී ගියා...

Tuesday, March 5, 2013

"යනවා මනුස්සයෝ යන්න..."


හරි වැඩක් උනානේ!

පොඩි කොලුවෙක් හිටියා අපේ ගම් පලාතේ. දස්ස කොලුවා. අපේ ගමේ ඉතින් දස්සයොන්ට හරි තැනනේ! (ධනපාලගේ සෞඛ්‍ය තත්වෙත් ලාවට බලපානවා)

කෝමිං කෝමිං හරි මේකා හොඳ තැනකට ආවා නෙව. අල්ලපු ගමෙත් හෙන ප්‍රසිද්දයි. වෙලාවකට අල්ලපු ගමේම එකෙද්ද කියලත් හිතෙන තරමට ප්‍රසිද්දයි. ඒ ගමේ ලොකු ලොකු මුදලාලිලා මේකට හොඳට සලකනවලුනේ! හැබැයි මේකා අපේ ගමටත් නොබලා ඉන්නේ නැති නිසා අපි ඉතින් ඔව්වා ගනන් ගන්නේ නෑ.

උට හරියනවනං අපිටත් සතුටුයි නෙව. මොකෝ ඉතින් සත්ව ලොකේ අපේ ජාතිය අඳුන්නන්නේ කැනහිල්ලු, හිවල්ලු එහෙම කියලා නෙවේනේ!

අම්බිලි මාමා තමා අපේ ගමේ වැඩකාරයා. පොර තරා කරගත්තොත් ඉතින් පාරෙ බැහැලා ගිහින් හමාරයි! මූ ගමේ රිපෝටර්. ගම්මුලාදෑනියා එහෙම හරියට සලකනවා මුට. ඒ උන්දැට සෑහෙන උදවු නේ අම්බිලියගෙං.

දවසක් අර කලින් කියපු දස්ස කොලූට ටිකක් තරා ගිහින් ඉන්නකොට අර අම්බිලියා ආවා නෙව ඕපදූපයක් අහන්න! ඔය කැස්වටුවටත් වෙන වැඩක් නෑනේ ඉතින් ගෑනි වගේ ඕන එකයි එපා එකයි හැම කෙහෙල්මලක්ම අවුස්සන්න යනවා.

"යනවා මනුස්සයෝ යන්න..." කොලුවා කිව්වේ එහෙමයි. මම එහෙම උනානං ඕකගේ ඇඟිල්ල ඕකගෙම නහයේ ගහනවා කටින් එලියට එන්න! ඕනම දේකට වෙලාවක් කලාවක් තියෙනවා.

කවර කතාද ඉතින්. අම්බිලියා දුන්නා ගින්න තිතටම! අර අසරණයාව පතුරු ගැහුවා! බැන්නෙ අම්බිලියට ඌ කරපු නොහොබිනා වැඩේ නිසා! කතාව ගියෙ 'මේකාට කවා පොවා ඇති දැඩි කල ගමේ උන්ට මූ "යනවා මනුස්සයෝ යන්න.." කියා බැන වදින බවයි.' ගමේ තවත් අයට එහෙම කිවුවාදැයි මමනං නොදනී. හැබැයි අම්බිලියා වගේ රුදාව සියොලඟෙහිම ඇති එකෙක් ඉන්නවාදැයි සැකය.

මේ ලොකේ දස්සකමක් නැති, කටවාචාලකම හා කපටිකම දොරේගලා යන ගම්මුලාදෑනියටත් මේ කතාව අම්බිලියා කිව්වේ ඔලුව පොඩ්ඩක් පාත් කරං. "යනවා මනුස්සයෝ යන්න..." ගම්මුලාදෑනියත් කිවුවා.

"බලන්න අපේ ගම්මුලාදෑනි උතුමාටත් හරියට තරහා ගියා අර කොලුවා ගැන අහලා! හැරිච්ච හැරිච්ච අතේ බදු ගැහුවට, ඒ සල්ලි වලින් විගඩං නැටුවට අපේ උතුම් ගම්මුලාදෑනියාගේ ලේ පයින්ට් කීයක්, අර අල්ලපු ගමෙන් සල්ලි අරං ඒ ගමටම වැඩ කරන ඌව හදපු ගමේ උන්ට කිසිම කෙලෙහි ගුනයක් නැති අර ගුනමකු කොලුවා නිසා අපවිත්‍ර වෙන්න ඇද්ද! හෙනම ගහපං ඕකට!"

අපේ උන්දැලගෙත් ලේ හරි ඉක්මනට රත් වෙනවා නෙව. අම්බිලියා එක්ක හවුලේ කොලුවව පතුරු ගගහා ඔහේ හිටියා!

නිමි

Sunday, February 24, 2013

"අඩෝ හොර නයා හූ... පල ආපු තැනකටම"


"මොකෙද්ද මේ පනු පැටියෙක් වගේ නලියන්නේ! අඩේ නයි පැටියෙක් නේද!"

මුර සෙබලුන් මෙන් තැනකින් තැනකට, එතනින් තවත් තැනකට නැවතත් මුල් තැනටම හේතුවක් ඇතුව හෝ නැතුව ඇවිදින්නන් පිරි ගම් පෙදෙසකි. සෑම විටම මෙන් මෙය සිදුවන විටද සැවොම ඒ අහේතුක ඇවිදීමේ යෙදීම නිසා අතිශය කාර්‍යබහුලව සිටියහ.

"මේකා මේ හින්නිකිතර එකෙක්නේ මොකට බයවෙන්නද මෙච්චර මිනිස්සු ගොන්නකුත් ඉන්දැද්දි! යන්තං හරි හපාකන්න ආවොත්නං පුතේ හැබැයි සදා සොත්ති තමා ඕං!"

ඇවිදීම අතරට පොර ටෝක් ටිකකුත් ඇතුල් උනේ ඔය විදියටයි. නයි පැටියත් පූස් පැටියා වගේ පැත්තකට වෙලා හිටියා.

මේ නයි පැටියා එක පාරට මාර වැඩක් කරන්න ගත්තානේ. මේකා දිලිසෙන පුංචි ගල් කෑලි වමනේ දානවා නෙව!

"මේ නං නයි පැටියෙක් නෙමේ දේවි පැටියෙක්! අපේ ගමට වාසනාව ගෙනාවා! අනා චූටියා හුරතලේ බෑ. ආදරේ හිතෙනවා!"

මල සමයං පයින් යෑමට පටන්ගති! අධි පෝෂණය සාදාගැනීමට වුවත් ප්‍රමාණවත් ඉස්තරම් ආහාර නයි පැටියා බුදිද්දී එහා පැත්තේ හිඟන පැටවු ඛේටය බුදින්නට වූහ. දන්නා තරමින් නයාට බඩේ රුදාවක් සෑදුනේ නම් නැත. එවන්නක් වූවානම් එදින මුලු ගමටම හදිසි සෝක දිනයක් ප්‍රකාශ කිරීමට පවා තිබුනි! ඕං නයාට ගිය කල!

ගල් කෑලි විකුනා රටේ නැති මගුල් නටන්නා වූ ගම් වාසීන්ගේ ලොකු වෙනසක් දක්නට නොලැබුනි. අහේතුක ඇවිදීමේ යෙදෙන විට පෙරටත් වඩා කාර්‍ය බහුල බවක් දිස් විය. හොඳ හොඳ කෑම දෙමින් නයාගේ වමනෙ ගොඩට අතපොවන්නටනම් වෙලාව නැත්තෙක් නැති තරම් විය!

නයා හොඳින් වැඩුනි. මේකා දැං පතරංග නාග රාජයෙකි! මුට පෙනයක් තිබූ බව සැමටම අමතක වී තිබුනි.

කොහේදෝ මංදා ඔහේ ඇවිදින එකෙක්ට අමුතුම ආතල් එකක් ගන්නට සිතුනි. මේ නයාට හෙන විසාල පෙනයක් ඇති බවත් මුලු ගමම විනාස කිරීමට මූ සැරසෙන බවත් ඊට කලින් ගේම දෙමූ කියාත් මේකා ප්‍රචාරය කලා නෙව!

ආයෙ මොනාද! ගල් කෑලි වගේද මේකා අපිට දෂ්ඨ කලොත් කියා දාස් ගනන් අර අපතයා වටා එක් විය. ඌටත් ෆුල් ජොලිය. ඌත් දැං පොරක්ය. හැබැයි වැඩේ දැන් දරුණුය. ආපසු හැරුනොත් පජාතය. ඉතින් මූ ඉදිරියටම යාමට දැඩි ලෙස ඉටාගති!

මොනාඋනත් නාග රාජයෙක්නේ! කෑම දෙන එක නවත්තලා, ඈතින් ඉඳං "අඩෝ හොර නයා හූ... පල ආපු තැනකටම." කියා කෑගසමින් විගඩං නටා නයා පැන්නීමට දිවිහිමියෙං කැප වූවෝ වීරත්වයෙං ඉස් කෙලිං කරං ඒවා 'ගමේ වීරයෝ' පිංතූර කොලයේ වැටෙන දවස ගැන හීන මැව්වෝය.

තාමත් නයාට ගැති උන් සිටී, නයා නුරුස්සන උන් සිටී, ඌ හිටියත් එකයි නැතත් එකයි කියා සිටින උංද සිටී. නමුත් උං සිටිනවා පමණි. ඔය කාටත් කල හැක්කක් නොමැත. නයා දෂ්ඨ කරන්න ආවොත් දුවන්නට පාරවල් නැත. නයා මරන්නට හැකි හර්ක්‍යූලීස් කෙනෙක් කොහෙන් හෝ මතු වීමට හැකියාවක්ද ඇත.

නයා දිලිසෙන ගල් වැමෑරුවේ ඇයි? මෙපමණ කල් පෙනේ නොතිබ්බා සේ සිටියේ ඇයි! ගම්මුන් සද්ද දාද්දී පවා ඔහේ සිටියේ ඇයි? ඒ ටික දන්නෙ නයාම පමණි!

Friday, February 22, 2013

කිසිසේත්ම ආදර කතාවක් නොවේ!

 

කොලුවෙකු තම කෙලී බැලීමට යයි. වන වන යන අත් දෙස බලා සුසුමක් හෙලා අසල ගසේ පිපී තිබූ සමන් මලක් නෙලා ගනී.

බෙන්ස් රථයෙන් බැස තවත් කොල්ලෙක් ටොම්බ සයිස් රෝස මල් පොකුරක් උස්සන් එයි. ඌ අර කෙලීගේ පසුපස ගමන්කරන්නෙකි.

කෙලී රෝසමල් පොකුරෙන් වැසී බෙන්ස් රථයේ නැගුනි.

P.S : ආදරය පිලිබඳ කිසිවක් මෙහි නොවේ.

Thursday, February 7, 2013

අහෝ දිය බිඳ!


ගිනියම් වාලුකා කතරක, දැවෙන වැලි කැටයක, අඳෝනාව ඉවසාගත නොහී....

සොච්චම් වලාකුල් කැබලි එක් වී, මුදාහල එකම එක දිය බිඳක්...

වැලි කැටය පෙනි පෙනී වාෂ්ප විය...

රාත්‍රිය උදා විය, වැලි කැටය සැනසුනි, වලාකුල් නිදා ගති...

අහෝ දිය බිඳ!